සිය දිවි තොර කරගැනීම එකම විකල්පයද ?
බිලියන දහස් ගණනින් මෙලොව තුළ ජීවීත ඇත.පළමු වාසනාවන්ත කාරණය නම් ඔබත් මමත් ඒ බිලියන ගණනක ජීවිත අතරින් මිනිස් ජීවිත උරුම ලද්දන් වීමයි.අඩු වැඩි වශයෙන් ජීවිතවල දුක් කම්කටොලු ඉපදීම අතිශය සාමාන්‍යය ය.
උපන් දා සිට අනේකවිධ දුක් විඳිමින් දිනක ජීවිතය ජයගන්නා චරිත මෙන්ම සම වයසේ මිතුරු මිතුරියන්ගේ උසුලු විසුලුවක් හමුවේ පවා තමා ලද ජීවිතය සියතින්ම කෙළවර කරගන්නා චරිත ද කොතෙකුත් ඇත.අනෙක් සියලු දේ සේම මිනිසුන්ගේ දරාගැනීමේ හැකියාව ද විවිධාකර වීම මීට හේතුවයි.නමුත් දරාගැනීම අතින් කුමන මට්ටමක ඔබ,මම සිටියා වුව ද ලද ජීවිතයෙන් පලා නොයා ජීවිතයට මුහුණ දීමේ හැකියාව අප විසින් ගොඩනඟාගත යුතුම ය.ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා වලට අනුව වසරකට ලොව පුරා ලක්ෂ අටක පමණ සියදිවි නසාගැනීම් ප්‍රමාණයක් සිදුවේ.
සැබවින්ම සියදිවි නසාගැනීම අප මුහුණදෙන සියලු අපහසු ප්‍රශ්න වලට ඇති එකම විසඳුම ද? අනෙක් අතට පවතින හොඳම විසඳුම එය ද? කුහුඹුවෙකුටවත් හිංසා කිරීමට සිත් නොදෙන මිනිසුන් පවා තමා විසින් ම තම ජීවිතය නසා ගැනීමට යොමුවන්නේ කෙසේ ද? ප්‍රශ්න රැසකි.අමතක නොකළ යුත්තේ සියලු ප්‍රශ්න වලට විසඳුම් නොඅඩු බවයි.
සමාජීය මෙන් ම මානසික හේතූන් රාශියක් මෙම සියදිවි නසාගැනීම් සඳහා හේතු වේ. විශාදය වැනි මානසික රෝගී තත්ත්ව, පෞර්ෂත්ව වර්ධනයේ දුර්වලතා, රැකියා අහිමිවීම්, ආර්ථික ගැටලු, මත්ද්‍රව්‍ය භාවිතයේ විපාක , මේ ආදී නොයෙකුත් හේතූන් මිනිසාට මරණය එක ම විකල්පය ලෙස පෙනීමට බලපායි. එයට වයස් භේදයක් නොමැත.රැකියාවේ ප්‍රශ්න , ආර්ථික ගැටලු, දරුවන්ගේ ප්‍රශ්න, නිධන්ගත රෝග ආදිය හේතුවෙන් සියදිවි නසාගන්නා වැඩිහිටියන් මෙන් ම දෙමව්පියන්ගේ ප්‍රශ්න , ගුරුවරුන්ගේ අවවාද, යහළු යෙහෙළියන් අතරේ සිදුවන සිත් රිදීම් ආදිය හේතුවෙන් ජීවිතය තොර කරගන්නා කුඩා දරුවන් පිළිබඳව ද අප ඕනෑතරම් අසා ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වසරකදී මුලු ලොව පුරා සිදුවන අවුරුදු 15-19 අතර වයසේ මරණවලට බහුලව බලපාන හේතූන් අතර තෙවැන්න සියදිවි නසාගැනීම යි.තමා දැඩි සේ ආදරය කළ පෙම්වතා හො පෙම්වතිය තමා අතහැර යාම,දෙමව්පියන්ගේ,ගුරුවරුන්ගේ දෝශාරෝපණ, මත්ද්‍රව්‍ය භාවිතය, පිරිසක් ඉදිරියේ දැඩිව ලැජ්ජාවට පත්වන යමක් සිදුවීම වැනි සුලභ හේතූන් යොවුන් වියේ ජීවිත තොරකරගැනීම සඳහා බලපායි.එවැනි සිදුවීම් තදින් සිත බිඳෙන කාරණා බව සැබෑවකි. නමුත් සිත නැවත ශක්තිමත් කරගනිමින් ජීවිතයට මුහුණ දීමේ ක්‍රම රැසක් තිබියදී මරණය එක ම විකල්පය කරගැනීම කිසිසේත් සාධරණීකරණය කළ නොහැක.
ඉවසාගැනීමට අපහසු, දරුණු සිත් බිඳීමක් හමුවේ සැබවින්ම අප සිදුකළ යුත්තේ කුමක්ද?
එවැනි දරාගැනීමට අපහසු කාරණයකදී ඒ පිලිබඳ තමා හොඳින්ම හඳුනන, තමාගේ අතිශය විශ්වාසවන්තයෙකු සමඟ ඒ පිලිබඳ සාකච්ඡා කිරීම ඔබේ මානසික පීඩනය සැලකිය යුතු මට්ටමකින් අවම කරගැනීමට උපකාරීවනු ඇත.නමුත් එවැනි පුද්ගලයෙකු තෝරාගැනීමේ දී ඔබ කල්පනාකාරී විය යුත්තේ ඔහු හෝ ඇය ඔබේ විශ්වාසය සුරකින, අත්දැකීම් වලින් යුත් බුද්ධිමත් පුද්ගලයෙකු ද යන වගයි. ඔබට එවැනි පුද්ගලයෙකු පිලිබඳ අදහසක් නොමැති නම් ඍජුවම වෛද්‍ය උපදෙස් ලබාගැනීම සඳහා යොමු විය හැක.බොහෝදෙනෙකුට එය ලැජ්ජාවට කරුණක් ලෙස පෙනුන ද එය ඉතාමත් සාමාන්‍ය, පහසු මෙන් ම වඩාත් යෝග්‍ය ම විසඳුමකි. රජයේ රෝහල්වල පවා මේ සඳහා නොමිලේ පවත්වන සායන කොතෙකුත් ඇත.ඔබේ පෞද්ගලිකත්වය සුරකිමින් අවශ්‍ය නිසි උපදෙස් කාරුණිකව ලබාදීමට ඔවුන් ක්‍රියාකරනු ඇත. අවාසනාවට කරුණ නම් බොහෝ පිරිසකට මෙම පහසු විසඳුම පිලිබඳ පැහැදිලි අවබෝධයක් නොමැති වීම සහ එය සංකීර්ණ විසඳුමක් ලෙස දැකීමත් ය.
පාසල් තුළ දී පවා මෙවැනි සංවේදී කාරණා පිලිබඳ දරුවන්ට නිසි අවබෝධයක් ලබාදීම වැදගත් ය. පාසල තුළ විවිධ වැඩසටහන් දියත් කරමින් තමාට ඇතිවන ඕනැම ගැටලුවක් හමුවේ එයට මුහුණ දීමේ හැකියාව සහ එහි වැදගත්කම පිලිබඳ දරුවන් තුළ යහපත් ආකල්පයන් ඇති කිරීම ඉතා වැදගත් වේ.බොහෝ පාසල් තුළ විවිධ උපදේශන සේවා ක්‍රියාත්මක වුවද දරුවන් ඒ සඳහා යොමුවීම ප්‍රමාණවත් ද යන්න ගැටලුවකි.එබැවින් පාසල තුළ එවැනි සේවා පුළුල් කරමින් දරුවන් ඒ සඳහා වඩාත් සමීප කරවීම ඔවුන්ගේ මුලු අනාගතය වෙනුවෙන් ම සිදුවන විසල් මෙහෙවරකි.එවිට මෑතකදී වාර්තා වූවාක් මෙන් අවුරුදු 15-16 වැනි වයසක පාසල් දරුවෙකු සහ දැරියක ගඟට පැන තම වටිනා ජීවිත විනාශ කරගැනීම වැනි ඛේදනීය තත්තවයන් තරමක් හෝ අවම වනු ඇත.
ඉතා මෑතකදී ජනප්‍රිය බොලිවුඩ් නලුවෙකු සියදිවි නසාගැනීමේ පුවතක් සමඟ සමාජය තුළ විශාදය සහ සියදිවි නසාගැනීම සම්බන්ධයෙන් විශාල කතාබහක් ඇතිවිය.නමුත් විශේෂයෙන් සමාජ මාධ්‍ය තුළ ඒ පිලිබඳ වූ සමහර තොරතුරු යොවුන් සමාජයට වැරදි ආදර්ශ සැපයූවාදැයි සැක ය.සමහර අවස්ථාවල ඔහු මුහුණ පෑ සිද්ධීන් හමුවේ ඔහුගේ තීරණය සාධාරණ යැයු හැඟෙන ලිපි පවා පළවිය.හදිසි තීරණ ගැනීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති යොවුන් පිරිසට එවැනි දේ වලින් ලැබෙන්නේ වැරදි උත්තේජනයකි. එවිට එවැනි අවාසනාවන්ත සිදුවීමක් පවා ඔවුන්ට වීර ක්‍රියාවක් ලෙස දැනෙන්නට පටන්ගනී.එබැවින් ඔබ සමාජ මාධ්‍ය හැසිරවීමේදී ඉතාමත් වගකීමෙන් ක්‍රියාකිරීම වැදගත් ය.
සියදිවි නසාගැනීම් අතින් ශ්‍රී ලංකාව පවතින්නේ මුලු ලෝකයෙන් ම විසි නවවන ස්ථානයේ වීම කණගාටුවට කරුණකි.වසරකට වාර්තාවන සිදුවීම් පමණක් තුන් දහසක් පමණ වේ.වාර්තා නොවන සිදුවීම් තව කොතෙකුත් පැවතිය හැක.කුමන හෝ වාසනාවකට ජීවිතය ආරක්ෂා වුව ද වසරක් තුළ සියදිවි නසාගැනීමේ උත්සහයන් කොපමණ ප්‍රමාණයක් සිදුවනවා ඇති ද? මරණය අරමුණු කරගෙන නොවුනත් ,නොලැබෙනා අවධානයක් දිනා ගැනීම වෙනුවෙන්,තවත් අයෙකුට රිදවීමේ අරමුණින් තමාට ම හානි කරගන්නා අවස්ථාවන් කොතරම් ප්‍රමාණයක් පවතිනවා ඇති ද?
ඔබටත් මටත් ජීවිතයේ එක් වතාවක් හෝ සියදිවි නසාගැනීමට සිතුවිල්ලක් නොපැමිණීයේ නම් එය පුදුමයට කරුණකි.නමුත් සිදුවිය යුත්තේ එවැනි සිතුවිලි මැඩ පවත්වා ගනිමින් යළි නැගී සිටීම හෝ ඒ පිලිබඳ නිසි උපදෙස් ලබාගනිමින් ජීවිතයට ශක්තිමත්ව මුහුණ දීමයි.එවැනි අවස්ථාවක අපගේ සමීපත්මයෙකුට උපකාරී විය යුත්තේ කෙසේ ද?
ඔබ වෙනදාට නොදකින කනස්සලු ස්වභාවයකින් ඔවුන් සිටීනම් තනිව කල්පනා කරමින් සිටීමට උත්සාහ කරයි නම්, "මට ජීවිතේ එපාවෙලා" වැනි දේ නිතර පවසයි නම් ඔවුන් පිලිබඳ වැඩි අවධානයක් ලබා දී ඔවුන්ට සමීප වීම ඔබේ යුතුකමයි.වැදගත්ම කරුණ නම් බරපතල උපදෙස් මාලාවක් ලබාදීමට වඩා ඔවුන්ට හොඳින් සවන් දී ඔවුන්ගේ සිතේ පවතින පීඩනය දුරුකරගැනීමට උපකාරී වීමයි.එවිට අපට කළහැකි උපකාරයක් පවතී නම් එය ඉටුකිරීම හෝ සුදුසු උපදෙසක් නිරවුල්ව, කාරුණිකව ඔවුන්ට පැහැදිලි කළ හැකිය.තවදුරටත් ඔවුන්ගේ හැසිරීමේ වෙනසක් සිදු නොවේ නම් වෛද්‍ය උපදෙස් සඳහා ඔවුන්ව යොමුකිරීම වැදගත් ය.
මිනිසා ස්වභාවයෙන් ම එකම කරුණකට මුලු ජීවිත කාලය පුරා එක ම අයුරින් දුක් නොවේ.
අද දිවි තොරකරගැනීමට තරම් සිතෙන කාරණය තවත් මාස කිහිපයකින් හෝ අවුරුද්දකින් අපට සාමාන්‍ය සිදුවීමක් විය හැක.නමුත් සියදිවි නසාගැනීම වැනි තීරණ වලට එලඹීමට පෙර එයින් වැළකී සිටීම වැදගත් ය.ජීවිතය පිලිබඳ සම්පූර්ණයෙන් කලකිරී,ජීවිතය තොරකරගැනීම හැර වෙනත් විකල්පයක් නොපෙනෙන ,ඔබ වෙනුවෙන් ඔබේම කියා කිසිවෙකු නැතැයි සිතෙන මොහොතක පවා ඔබට, මට සැනසීමක්, උපකාරයක් ලබාදීමට ජාතික මානසික විද්‍යායතනය ද සූදානම්. 1926 දුරකතන අංකය අමතා පවසන ඔබේ ගැටලුවට සුදුසු ම විසඳුම දයාබරව ලබාදීමට ඔවුන් සූදානම්.
කෙදිනක හෝ ඔබ ආදරය කළ අයෙකු ඔබව අතහැර යාම නිසා ඔබට ඔබේ ජීවිතය අතහැර යාමට සිතුනහොත් ඊට පෙර , ඔබ ඔබට ආදරය කරන අය පිලිබඳව ද සිතා බැලිය යුතු නොවේ ද? අනෙක් අතට ඔබ ඔවුන්ව පත් කරන්නේත් ඔබ පත් වූ තත්ත්වයට ම නොවේ ද?ඔබේ ගැටලුව ඊට වෙනස් ම යමක් විය හැක.නමුත් කිසිදු ගැටලුවකට මරණයෙන් විසඳුම් නොලැබෙන බව නම් සහතික ය.
ඔබේ ජීවිතය ඔබටත් වඩා වටින පිරිසක් ඔබ වටා සිටිය හැක. අද නොපෙනුනත් හෙට දවසක දී හෝ ඔබට ඔවුන් මුණගැසෙනු ඇත.එබැවින් කොතරම් සිත් රිදීම්,බාධක,කම්කටොලු මැද වුවද ඔබෙත්, මගෙත් වාසනාවට ලද මනුෂ්‍ය ජීවිතය රැකගත යුතුම ය 🧡
Post a Comment